


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
තෝරාගත් ප්‍රදේශයක් සඳහා නිශ්චිත ඉදිරි දැක්මක් අනුව ක්‍රමවත් සංවර්ධන සැලැස්මක් පිළියෙල කිරීම මඟින් ජනතාවගේ සමාජීය, භෞතික හා ආර්ථික උන්නතිය සහ අභිවෘද්ධියත්, කලාපයේ විභවතාවයන් වැඩිදියුණු කරගනිමින් පවතින ගැටළු මඟහරවා ගැනීම අපේක්ෂා කරයි.
නාගරික සංවර්ධන අධිකාරිය 1978 අංක 41 දරණ පනත යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත නාගරික බල ප්‍රදේශ සඳහා ඒකාබද්ධ සැලසුම් සකස් කිරීම සඳහා බලයලත් නියාමන ආයතනය වේ. එමෙන්ම 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධිත) පනතේ 8 (අ) (I) වගන්තිය අනුව නාගරික සංවර්ධන බල ප්‍රදේශ සඳහා ඒකාබද්ධ සංවර්ධන සැලසුම් සකස් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට බලය පවරා ඇත.
ඒ අනුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි කැලණිය ප්‍රදේශය 1987 වර්ෂයේදී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් ලෙස ස්ථාපිත කර ඇති අතර, 1978 අංක 41 දරණ පනතේ 3 වන වගන්තිය අනුව 2001 පෙබරවාරි 13 වන දින අංක 1171/10 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් නාගරික සංවර්ධන අධිකාරියට අයත් බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
එහෙත් 2018 වසර වන විටත් මෙම ප්‍රදේශය සඳහා ගැසට් කර ඇති නාගරික සංවර්ධන සැලැස්මක් නොමැති විය. ඒ හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ 2018–2022 උපායමාර්ගික සැලැස්ම අනුව “නාගරික ප්‍රදේශයන්හි සැලසුම්ගත භෞතික සංවර්ධනය” කෙරෙහි අවධානය යොමු කරමින්, වර්තමාන නගර සංවර්ධනය සම්බන්ධව පවතින සංකීර්ණතාව හේතුවෙන් කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට තීරණය කරන ලදී.
එබැවින් 2020 සිට 2030 දක්වා කාලය සඳහා වලංගු වන පරිදි ප්‍රාදේශීය මට්ටමේ සැලසුමක් ලෙස කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් සකස් කර ඇත. මෙම සංවර්ධන සැලැස්ම මඟින් ප්‍රදේශයේ නාගරික තදබදය අවම කරමින්, පූජනීය කැලණි විහාර භූමියේ ආවේණිකත්වය මෙන්ම ස්වභාවික පරිසරය ආරක්ෂා කරමින් ආර්ථික, සමාජීය හා භෞතික වශයෙන් තිරසාර සංවර්ධනයක් කරා යොමු වීම අපේක්ෂා කරයි.
වර්තමාන රජයේ ජාතික ප්‍රතිපත්ති ප්රකාශනය තුළ අන්තර්ගත දස වැදෑරුම් ප්‍රතිපත්ති අතර අටවන ප්‍රතිපත්තිය මඟින් භෞතික අවකාශ භාවිතයේ නව ප්‍රවේශය පිළිබඳ සාකච්ඡා කරයි. එමඟින් සමස්ත නාගරික පරිසරය නාගරික ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරමින් ප්‍රධාන වරාය සහ ගුවන් මධ්‍යස්ථාන වෙත කඩිනමින් ළඟා විය හැකි පරිදි සියලු අතුරු නගර හා භෞතික ප්‍රදේශ අතර අන්තර්සම්බන්ධතාවයක් ඇති කරන “සීඝ්‍ර ආර්ථික කොරිඩෝ” ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරයි.
එහි යෝජිත නගර ආකෘතිය අනුව වාණිජ නගර, සම්බන්ධිත නගර, ජාතික නගර සහ පුරෝගාමී නගර අතරින් කොළඹ වරාය කේන්ද්‍ර කරගත් කර්මාන්ත ආර්ථික වටිනාකමක් සහිත අතුරු නගරයක් ලෙස කැලණිය හඳුනාගත හැක. ඒ අනුව ජාතික ප්‍රතිපත්ති ප්රකාශනය ඔස්සේ නාගරික අවකාශයේ නව ප්‍රවේශය සැලකිල්ලට ගනිමින් කැලණිය සංවර්ධන සැලැස්ම තුළ සැලසුම් සකස් කිරීමට කටයුතු සිදු කර ඇත.