

මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
සංවර්ධන සැලැස්මක් යනු යම් ප්‍රදේශයක් සතුව පවතින භෞතික, ආර්ථික, සමාජීය හා පාරිසරික සාධක උපක්රමානුකූල ලෙස භාවිතා කරමින් ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාවයන් මත තිරසාර සංවර්ධනයක් කරා රැගෙන යාමට සකස් කළ නෛතිකව පිළිගැනීමකට ලක් වූ ලිඛිත වාර්තාවකි.
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 3(1) සහ (2) වගන්තිය අනුව, අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන බල ප්‍රදේශයක් සඳහා සංවර්ධන සැලැස්මක් පිළියෙළ කිරීමේ කාර්යභාරය 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරී (සංශෝධන) පනතේ 8 “අ” (I) කොටස මගින් නාගරික සංවර්ධන අධිකාරියට බලය පැවරී ඇත.
ඒ අනුව, 1979 ඔක්තෝම්බර් මස 01 වන දින අංක 56/6 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් කැස්බෑව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ලෙස වර්ග කිලෝමීටර් 61ක් පමණ භූමි ප්‍රදේශයක් අයත් වන අතර, 2006 ජනවාරි මස 04 වන දින අංක 1426/15 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් කැස්බෑව නගර සභාව හා බොරලැස්ගමුව නගර සභාව ලෙස කැස්බෑව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පරිපාලනමය වශයෙන් පාලන ආයතන දෙකකට වෙන් කර ඇත.
වර්ග කිලෝමීටර් 50.4කින් යුත් කැස්බෑව නගර සභා බල ප්‍රදේශය නාගරික බල ප්‍රදේශයක් වීමේ ප්‍රතිඵලයක් ලෙස භෞතික, ආර්ථික, සමාජීය හා පාරිසරික සාධක භාවිතා කරමින් සංවර්ධන සැලැස්මක් සකස් කර ඇත.
කොළඹ වාණිජ නගරය හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නාගරික සංවර්ධන බල සීමාවන්ට ආසන්නව පවතින අතර, එහි නාගරික ප්රවණතා සීඝ්රයෙන් පැතිර යන ප්‍රදේශයක් ලෙසත් පාරිසරික වශයෙන් සංවේදී කලාපයක් ලෙසත් කැස්බෑව නගර සභා බල ප්‍රදේශය හැඳින්විය හැක.
නව නාගරික ප්රවණතා වලට අනුකූලව, ප්‍රදේශයේ පවතින විභවතාවයන් හා ගැටලු හඳුනාගනිමින් තිරසාර සංවර්ධනයක් කරා ප්‍රදේශය ගෙන යාම ප්‍රධාන අරමුණ කරගනිමින්, කැස්බෑව නගර සභා බල ප්‍රදේශය සඳහා වූ සංවර්ධන සැලැස්ම 2022–2032 කාල සීමාව සඳහා බල පැවැත්වෙන ලෙස පිළියෙළ කර ඇත.