

මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රදේශයන්හි ආර්ථික, භෞතික, සමාජීය හා පාරිසරික යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින්, එම අංශ ප්‍රවර්ධනය කිරීම හා විධිමත් කිරීම සඳහා ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම සංවර්ධන සැලැස්මක් සකස් කිරීම ලෙස හැඳින්විය හැක.
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 3(1) සහ (2) වගන්ති අනුව, යම් ප්‍රදේශයක් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස නාගරික සංවර්ධනය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළ හැකි අතර, එසේ ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමේ බලතල 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධිත) පනතේ 8(II)(අ) යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත.
1978 සැප්තැම්බර් 30 දිනැති අංක 4/1 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය, නාගරික සංවර්ධනය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 3(1) සහ (2) වගන්ති යටතේ නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, 1985 දී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් “කොළඹ නගර සංවර්ධන සැලැස්ම – 1985” පිළියෙළ කරන ලද අතර, එයට සංශෝධනයක් ලෙස “කොළඹ නගර සංවර්ධන සැලැස්ම – 1999” ඉදිරිපත් කර ඇත.
අනතුරුව, 2008 වර්ෂයේදී එය නැවත සංශෝධනය කර “කොළඹ නගර සංවර්ධන සැලැස්ම (සංශෝධනය) – 2008” පිළියෙළ කර ඇත.
එම සංවර්ධන සැලැස්මේ වලංගු කාලය අවසන් වීමට ආසන්න වීමත්, ප්‍රදේශයේ නව භෞතික, ආර්ථික, පාරිසරික හා සමාජීය අංශ සඳහා උපායශීලී මැදිහත් වීමක අවශ්‍යතාවය මතුවීමත් හේතුවෙන්, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සඳහා නව සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කරන ලදී.