


இந்த இடுகைக்கு கருத்துகள் இயக்கப்படவில்லை.
கருத்துகள் பதிவேற்றப்படுகின்றன...
Fetching the latest discussions
නගරයක අනාගත සැලැස්ම සකස් කිරීමේදී එම නගරයෙහි පවතින භෞතික, සමාජ, ආර්ථික, පාරිසරික, සංස්කෘතික ආදී සියලු අංශයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා සිටීම වැදගත්ය. සංවර්ධන සැලසුම්කරණය යනු යම් ප්‍රදේශයක් සතුව පවතින මෙකී සියලු අංශයන්හි සාධක උපක්‍රමශීලී ලෙස තිරසාර සංවර්ධනයකට යොමු කරන ආකාරය දක්වන හා ඒ සඳහා ප්‍රදේශයේ පාර්ශ්වකරුවන්, විශේෂයෙන්ම එහි ජීවත් වන ජනවාසිකයන් සංවර්ධන කටයුතු වලදී ක්‍රියා කළ යුතු ආකාරය දක්වන නීතිමය පිළිගැනීමකට ලක්වූ ලිඛිත වාර්තාවකි.
ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 8 "අ" වගන්තියේ බලතල ප්‍රකාරව, අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන බල ප්‍රදේශයක් සඳහා සංවර්ධන සැලැස්මක් පිළියෙළ කිරීමේ කාර්යභාරය 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරී (සංශෝධන) පනතේ 8 "අ" වගන්තිය මගින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලය පැවරී ඇත.
1979 ඔක්තෝබර් 01 වන දින අංක 56/6 දරණ ගැසට් පත්‍රය මඟින් මාලපල්ල, කොට්ටාව උතුර, කොට්ටාව දකුණ, රුක්මල් හා කළල්ගොඩ යන ග්‍රාම නිලධාරි කොට්ඨාශයන් සහ කොළඹ දිස්ත්‍රික්කය තුළ කෝරළේ - බටහිර පල්මල් පත්තුවට අදාළ අතුරුගිරිය ග්‍රාම සේවා බල ප්‍රදේශයද නාගරික සංවර්ධන අධිකාරී බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
අනතුරුව 2002 ජනවාරි මස 10 වන දින අංක 1218/35 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය මඟින් 2002.04.15 වන දින සිට මහරගම නගර සභාව සංස්ථාපනය කරමින් නගර සභා බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම ප්‍රදේශය ග්‍රාම සේවා වසම් 41 කින් සමන්විත වේ.
කොළඹ නගරයේ පරිපාලන කටයුතු බත්තරමුල්ල ප්‍රදේශයෙහි සංකේන්ද්‍රණය වීමේ ප්‍රවණතාවය අනුව 1985 අංක 335/5 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සකස් කරන ලද ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අගනගර ප්‍රදේශ සැලැස්ම තුළට මහරගම ප්‍රදේශයද අයත් විය.
ජාතික භෞතික සැලැස්ම මගින් හඳුනා ගන්නා ලද “කොළඹ නාගරික පුරවර කලාපය” 2017 අංක 2019/11 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර, නාගරික සංවර්ධන අධිකාරිය විසින් එම කලාපය සඳහා ව්‍යුහාත්මක සැලැස්මක් (Structure Plan) පිළියෙළ කරන ලදී.
මෙහිදී සම්පූර්ණ බස්නාහිර පළාත සඳහා යෝජනා කරන ලද පුළුල් අවකාශීය ව්‍යුහය සඳහා 2015 වර්ෂයේදී සකස් කරන ලද කොළඹ මහනගර සැලැස්මද සැලකිල්ලට ගෙන ඇත.
අනතුරුව 2019 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම නගර සභා බල ප්‍රදේශය හා කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් සැලසුම් ප්‍රදේශ ලෙස සලකා නාගරික සංවර්ධන අධිකාරියෙන් අග නගර සංවර්ධන සැලැස්ම 2030 පිළියෙළ කරන ලදී.
මේ වනවිට 2008–2020 කාලසීමාව සඳහා සකස් කරන ලද මහරගම නගර සභා බල ප්‍රදේශයේ සංවර්ධන සැලැස්මේ වලංගු කාලය ඉකුත් වීම හේතුවෙන් නව සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව මතු විය.