


இந்த இடுகைக்கு கருத்துகள் இயக்கப்படவில்லை.
கருத்துகள் பதிவேற்றப்படுகின்றன...
Fetching the latest discussions
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 8 (අ) වගන්තියට අනුව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රකාශිත ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමේ බලතල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත. 1949 ජනවාරි මස 21 වන දින අංක 9939 දරණ ගැසට් නිවේදනය මඟින් මීගමුව මහ නගර සභා බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
1987 මැයි මස 12 වන දිනැති අංක 453/4 දරණ ගැසට් නිවේදනය මඟින් කොච්චිකඩේ නගර සභා බල ප්‍රදේශය සහ කටාන ගම් සභා බල ප්‍රදේශයේ කොටසක් මීගමුව මහ නගර සභා බල ප්‍රදේශයට ඇතුළත් කරන ලදී. 2002 ජනවාරි මස 10 වන දිනැති අංක 1218/34 දරණ ගැසට් නිවේදනය මඟින් මෙම ප්‍රදේශය තවදුරටත් පුළුල් කරන ලදී. එසේම 1989 නොවැම්බර් මස 03 වන දිනැති අංක 1000/3 දරණ ගැසට් නිවේදනය මඟින් මීගමුව නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
නගර සංවර්ධනය පිළිබඳ මීගමුව මහ නගර සභා බල ප්‍රදේශයේ පළමු වැදගත් පියවර ලෙස 2001 වර්ෂයේදී ප්‍රධාන පළාත් පාලන ආයතන තුනක් ඇතුළත් කර “මීගමුව වර්ධක ප්‍රදේශය” ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහන් කළ හැක. 2004 වර්ෂයේදී මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය සඳහා සංවර්ධන සැලැස්මක් පිළියෙල කරන ලද අතර, එය 2005.06.07 දින අංක 1396/7 දරණ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම සැලැස්ම මඟින් ප්‍රදේශයේ භෞතික, පාරිසරික, ආර්ථික හා සමාජීය අංශ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදී ඇත. 2004 වර්ෂයේ සිට අවුරුදු 20 ක කාලයක් සඳහා මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.
ඒ අතරතුර නැගී එන නාගරික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් දැනට පවතින සංවර්ධන සැලැස්ම යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. එබැවින් ප්‍රදේශයේ භෞතික, පාරිසරික, ආර්ථික හා සමාජීය සුභසාධනය මෙන්ම සුවපහසු නගරයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් ඉදිරි වසර 11 ඉලක්ක කර මෙම නගර සංවර්ධන සැලැස්ම පිළියෙල කරනු ලැබේ.
“සෞභාග්‍යයේ දැක්ම” – තෙවන කොටස (භෞතික අවකාශ භාවිතයේ නව ප්‍රවේශය) යටතේ මීගමුව සැලසුම් ප්‍රවේශය සහසම්බන්ධිත නගරයක් ලෙස දක්වා ඇත. ඒ අනුව මීගමුව සංවර්ධන සැලැස්ම මඟින් යෝජිත උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති හරහා මෙම නගරයට සංචාරක, ආර්ථික සහ ඓතිහාසික වටිනාකම් එකතු කර ජාතික නගරයක් වන ගම්පහ නගරය සමඟ සම්බන්ධ වීම අපේක්ෂා කරයි.
මීගමුව සංවර්ධන සැලැස්ම මඟින් මීගමුව මහ නගර සභා බල ප්‍රදේශයට උරුම වූ මූලික සම්පත් සහ පවතින විභවතා හඳුනාගෙන, මීගමුව සංචාරක ගමනාන්තයක් ලෙස ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙනයාම අරමුණු කර ඇත. ඒ සඳහා ස්වභාවික වරාය, වෙරළ ආසන්නව පිහිටි ජලධාරා, මීගමුව කළපුව, මා ඔය සහ හැමිල්ටන් ඇළ කේන්ද්‍ර කරගත් නීල-හරිත ජාලය, ජෛව විවිධත්වය සහ රෝමානු වාතාවරණයෙන් යුත් බටහිර නවීන සංස්කෘතිය ප්‍රධාන විභවතා ලෙස හඳුනාගෙන ඇත.
මෙම විභවතා මඟින් සංචාරක, ධීවර, වාණිජ සහ අනෙකුත් අංශ ඔස්සේ සංවර්ධනයක් ඇති කිරීම අපේක්ෂා කරයි.