


Share your perspective
Please log in to share your thoughts and join the discussion.
Loading comments...
Fetching the latest discussions
නාගරික සංවර්ධන අධිකාරියේ විෂය පථයට ඇතුළත් ප්‍රධානතම කාර්යභාරයක් ලෙස නාගරික සංවර්ධන ප්‍රදේශ හඳුනා ගැනීම, එම ප්‍රදේශ නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීම හා එවැනි ප්‍රකාශිත ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් පිළියෙළ කර ක්‍රියාත්මක කිරීම ප්රමුඛ වේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය මෙන්ම දිස්ත්‍රික් පරිපාලන මධ්‍යස්ථානය ලෙස කෑගල්ල නගර සභා ප්‍රදේශයත්, කෑගල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ කොටසකුත් නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස හඳුනාගෙන එම ප්‍රදේශ සඳහා මෙම සංවර්ධන සැලැස්ම සකස් කර ඇත.
වර්ෂ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 3 වන වගන්තිය යටතේ, වර්ෂ 1979 ජූනි මස 01 වන දින අංක 38/16 දරණ ගැසට් නිවේදනය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල නගර සභා ප්‍රදේශය නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඉන්පසු වර්ෂ 2000 ජූනි මස 28 වන දින අංක 1138/18 දරණ ගැසට් නිවේදනය මගින් කරඩුපන මංසන්ධියෙන් ආරම්භ වී පින්නවල අලි අනාථාගාරය දක්වා විහිදෙන කෑගල්ල–රඹුක්කන මාර්ගයේ දෙපසට මීටර් 400 ක් දක්වා විහිදෙන ලෙස හඳුනාගත් පින්නවල සංචාරක කලාපය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව කෑගල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයෙන් වර්ග කිලෝමීටර් 2.4 ක් පමණ ආවරණය වන පරිදි කොවලන්ගල්ල, කලුගල්ල, කරඩුපන, උක්වදෙණිය, දිඹුල්ගමුව සහ දියගම යන ග්‍රාම නිලධාරී වසම්වල ප්‍රධාන මාර්ගයට ආසන්න කොටස් නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
තවද වර්ෂ 2003 සැප්තැම්බර් මස 18 වන දින අංක 1306/23 දරණ ගැසට් නිවේදනය මගින් නැවතත් කෑගල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයට අයත් වර්ග කිලෝමීටර් 7 ක පමණ විශාලත්වයකින් යුත් බෙරගල, වෙල්දෙණිය සහ පරගම්මන යන ග්‍රාම නිලධාරී වසම් සම්පූර්ණයෙන්මත්, දික්ඇල්ල, ඌරාඋල්ල, අඹන්පිටිය සහ පරණගම්පල යන වසම්වල කොටස් වශයෙන් නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම ප්‍රදේශ අතරින් කෑගල්ල නගර සභා ප්‍රදේශය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධන සැලැස්මක් සකස් කර ඇති අතර, එය “කෑගල්ල නගර සංවර්ධන සැලැස්ම 2001–2015” ලෙසත්, එහි සංශෝධිත සැලැස්ම “2016–2025” ලෙසත් 2002.08.15 දින ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නගරය ලෙස පවතින සංවර්ධන විභවතාවයන් සහ පාරිසරික සංවේදීතාවය යන කරුණු විශ්ලේෂණය කරමින් කෑගල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ 2000 සහ 2003 වර්ෂවල ගැසට් මගින් ප්‍රකාශිත ප්‍රදේශයට ආසන්නව පවතින ඉදිරි සංවර්ධන විභවතාවයන් ඇති ප්‍රදේශ තවදුරටත් නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස පුළුල් කිරීමට තීරණය කරන ලදී.
ඒ අනුව දැනට කොටස් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ඌරාඋල්ල, පරණගම්පල, අඹන්පිටිය, දික්ඇල්ල, දිඹුල්ගමුව, දියගම, කලුගල්ල, කරඩුපන, කොවලන්ගල්ල සහ උක්වදෙණිය යන ග්‍රාම නිලධාරී වසම්වල ඉතිරි කොටස්ද, ඔලගන්කන්ද, පල්වලවෙල, නිල්මල්ගොඩ සහ සභා වෑවලදෙණිය යන ග්‍රාම නිලධාරී වසම් සම්පූර්ණයෙන්මත් හඳුනාගෙන 2025.03.19 දින අංක 2428/11 දරණ ගැසට් නිවේදනය මගින් වර්ග කිලෝමීටර් 15.7 කින් යුත් නව ප්‍රදේශයක් කෑගල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ප්‍රදේශය පුළුල් කරන ලදී.
එසේ පුළුල් කරන ලද ප්‍රදේශය ඇතුළත් කරමින් නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරන ලද කෑගල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ කොටසත්, කෑගල්ල මහ නගර සභා ප්‍රදේශයත් ඒකාබද්ධ කරමින් කෑගල්ල නගර සංවර්ධන සැලැස්ම 2024–2034 සකස් කර ඇත.
මෙම සැලැස්මේ සංවර්ධන සැලැස්ම කොටස කෑගල්ල මහ නගර සභා ප්‍රදේශය හා කෑගල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ කොටස ඒකාබද්ධ කරමින් සකස් කර ඇති අතර, කලාපීකරණ සැලැස්ම පළාත් පාලන ආයතන දෙකට වෙන වෙනම සකස් කර ඇත....
මෙම සංවර්ධන සැලැස්ම 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි සංශෝධිත පනතේ 8(II)(අ) වගන්තිය යටතේ පවරා ඇති බලතල අනුව පිළියෙළ කර ඇත. මෙහි මූලික අධ්‍යයන කටයුතු 2023 වසරේ සිට ආරම්භ කර ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව කෑගල්ල නගරයේ කැපී පෙනෙන නාගරික ව්‍යුහය සහ ඉදිරි දශකය තුළ භෞතික, පරිසරික, සමාජීය සහ ආර්ථික වශයෙන් සිදුවිය හැකි සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සැලැස්ම සකස් කර ඇත.