


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
තෝරාගත් ප්රදේශයක් සඳහා නිශ්චිත ඉදිරි දැක්මක් අනුව ක්රමවත් සංවර්ධන සැලැස්මක් පිළියෙල කිරීම මඟින් ජනතාවගේ සමාජීය, භෞතික හා ආර්ථික උන්නතිය සහ අභිවෘද්ධියත්, කලාපයේ විභවතාවයන් වැඩිදියුණු කරගනිමින් පවතින ගැටළු මඟහරවා ගැනීමත් අපේක්ෂා කරයි.
නාගරික සංවර්ධන අධිකාරිය යනු 1978 අංක 41 දරණ පනත යටතේ ප්රකාශිත ශ්රී ලංකාවේ නාගරික බල ප්රදේශ සඳහා ඒකාබද්ධ සැලසුම් සකස් කිරීම සඳහා බලයලත් නියාමන ආයතනයකි. එමෙන්ම 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධන) පනතේ 8 (අ) (I) වගන්තිය අනුව නාගරික සංවර්ධන බල ප්රදේශයන් සඳහා ඒකාබද්ධ සංවර්ධන සැලසුම් සකස් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට බලය ලබා දී ඇත.
ඒ අනුව, ගම්පහ සංවර්ධන සැලැස්ම යටතේ ගම්පහ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන ගම්පහ මහ නගර සභා බල ප්රදේශය සහ ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශය සැලසුම් බල ප්රදේශ ලෙස ආවරණය කරයි. ගම්පහ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය ග්රාම නිලධාරී වසම් 101 කින් සමන්විත වන අතර, 1945 වර්ෂයේදී ඉහළගම, පහළගම, මැදගම, පට්ටියගම සහ අලුත්ගම යන කුඩා ගම් පහ එකතු කරමින් ගම්පහ නගර සභාව ලෙස ස්ථාපිත කරන ලදී. ඉතිරි ග්රාම නිලධාරී වසම් ප්රාදේශීය සභා බල ප්රදේශයට අයත් විය.
මෙම නගර සභා බල ප්රදේශය 1979.06.01 දින අංක 38/16 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් නාගරික සංවර්ධන අධිකාරී බල ප්රදේශයක් ලෙස ප්රකාශයට පත් විය. කාලයත් සමඟ සිදු වූ ජනගහන වර්ධනය හා නාගරික සංවර්ධනය හේතුවෙන් 2000 ජූලි 27 දින අංක 1142/22 දරණ ගැසට් නිවේදනය මඟින් පැවති නගර සභා බල ප්රදේශයේ භූමි ප්රමාණය වර්ග කිලෝමීටර් 2.57 සිට 27.9 දක්වා විශාල කර මහ නගර සභාවක් ලෙස ස්ථාපිත කරන ලදී.
ඉන් අනතුරුව 2001 පෙබරවාරි 20 දින අංක 1172/7 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම මහ නගර සභා බල ප්රදේශය නාගරික සංවර්ධන බල ප්රදේශයක් ලෙස ප්රකාශයට පත් කරන ලදී.
එහෙත් ඒ වන විට ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශය නාගරික සංවර්ධන බල ප්රදේශයක් ලෙස ගැසට් කර නොතිබුණි. වර්තමානය වන විට මුළු ගම්පහ දිස්ත්රික්කය තුළ පවතින ජනගහන වර්ධනය සහ භෞතික සංවර්ධනය පදනම් කරගෙන 2016.09.09 දින අංක 1983/30 දරණ ගැසට් නිවේදනය මඟින් ගම්පහ දිස්ත්රික්කය තුළ පවතින සියලු මහ නගර සභා, නගර සභා සහ ප්රාදේශීය සභා බල ප්රදේශ නාගරික සංවර්ධන බල ප්රදේශ ලෙස ප්රකාශයට පත් කරන ලදී. ඒ අනුව ගම්පහ ප්රාදේශීය සභාව ද නාගරික සංවර්ධන බල ප්රදේශයක් බවට පත් විය.
වර්තමානය වන විට ගම්පහ නගරාශ්රිත සංවර්ධනය මහ නගර සභා බල ප්රදේශයට පමණක් සීමා නොවී ඉන් පිටතට ද විහිදී ඇති බව පෙනී යයි. එහි ප්රතිඵලයක් ලෙස ගම්පහ මහ නගර සභාව සහ ප්රාදේශීය සභාව යන බල ප්රදේශ දෙකම ඒකාබද්ධ කරමින්, දැනට පවතින “ගම්පහ නාගරික සංවර්ධන බල ප්රදේශය සඳහා වූ සැලැස්ම (2006–2026)” හි සැලසුම් බල ප්රදේශය තවදුරටත් පුළුල් කර, එය උපායමාර්ගික සැලසුම් ක්රමය යටතේ සංශෝධනය කිරීම සිදු කර ඇත.
මෙම “ගම්පහ සංවර්ධන සැලැස්ම 2024–2033” වසර 10 ක කාලයක් සඳහා වලංගු වන පරිදි ප්රාදේශීය මට්ටමේ උපායමාර්ගික සැලැස්මක් ලෙස සකස් කර ඇති අතර, වත්මන් සංවර්ධන නැඹුරුතාවයන් ද සැලකිල්ලට ගනිමින් ගම්පහ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්පහ මහ නගර සභා සීමාව සහ ගම්පහ ප්රාදේශීය සභා සීමාව සංවර්ධනය කිරීම අපේක්ෂා කරයි.