


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
සංවර්ධන සැලැස්ම යනු යම් ප්‍රදේශයක සිදුවන භෞතික, සමාජ, ආර්ථික හා පාරිසරික ක්‍රියාකාරකම් විධිමත් සැලසුමකට අනුව මෙහෙයවීම සඳහා සකස් කරන ලද නීතිමය රාමුවකි. එය එම ප්‍රදේශයේ ජන ජීවිතය තිරසාර ලෙස පවත්වාගෙන යාම සඳහා සංවර්ධන උපායමාර්ග මගින් ක්‍රියාත්මක කරනු ලබන නීතිගත ලියවිල්ලකි. ඉහත බලතල අනුව සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී නගරයේ භෞතික සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙන ලදී.
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 1982 අංක 04 දරණ සංශෝධිත පනතේ II (අ) කොටසේ 8 (අ) අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශවල භෞතික සංවර්ධන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ බලය නාගරික සංවර්ධන අධිකාරිය සතු වේ.
1981.11.13 දින අංක 166/19 දරණ ගැසට් නිවේදනය යටතේ ග්‍රාම නිලධාරී වසම් 10ක් මහව නාගරික සංවර්ධන අධිකාරියේ බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. දළදාගම හන්දිය ආශ්රිත වාණිජ සංවර්ධනය සහ යාපහුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමත්, ඒ ආශ්රිත සංචාරක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමත් සඳහා 2008.02.08 දින අංක 1535/14 දරණ ගැසට් නිවේදනය අනුව එම බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 24ක් දක්වා, හෙක්ටයාර් 7441ක භූමි ප්‍රමාණයක් ඇතුළත්ව, පුළුල් කරන ලදී.
මහව ප්‍රදේශය සාරවත් කෘෂිකාර්මික භූමියක් වන බැවින් කෘෂි ආර්ථිකය මූලික කරගෙන සංවර්ධනය කළ යුතු නගරයක් ලෙසත්, එහි පුරාවිද්‍යාත්මක පසුබිම සලකා සංචාරක ආකර්ෂණයක් සහිත නගරයක් ලෙසත් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනා ගන්නා ලදී.
2017 වසර දක්වා මහව නගරය සඳහා ව්‍යාපෘති වාර්තාවක් පමණක් සකස් කර තිබූ අතර, නගර සංවර්ධන සැලැස්මක් අනුව සංවර්ධන කටයුතු විධිමත් කිරීමක් සිදු වී නොතිබුණි. එම නිසා 2017 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහව නාගරික බල ප්‍රදේශය සඳහා නව සංවර්ධන සැලැස්මක් සකස් කිරීම ආරම්භ කරන ලදී. 2030 වන විට ළඟා වීමට අපේක්ෂිත භෞතික, ආර්ථික, පාරිසරික හා සමාජ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය උපායමාර්ග හා මාර්ගෝපදේශ මෙහි ඇතුළත් කර ඇත.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් මූලධර්ම අතරින් මහව නගර සැලසුම්කරණයට සෘජුව දායක වන මූලධර්ම පහත පරිදි වේ:
• ඵලදායී පුරවැසියෙක් සහ ශක්තිමත් මානව සම්පත.
• ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනය.
• තාක්ෂණය මත පදනම් වූ සමාජය.
• භෞතික සම්පත් සංවර්ධනය.
• තිරසාර පරිසර කළමනාකරණය
බාහිර වටරවුම් මාර්ග සංවර්ධනය, අභ්‍යන්තර මාර්ග පුළුල් කිරීම, පුරාවිද්‍යාත්මක ස්ථාන සඳහා විශේෂ ප්‍රවේශ මාර්ග සංවර්ධනය, ගුවන් පාලම් ඉදිකිරීම සහ උද්‍යාන නිර්මාණය කිරීම මගින් පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම අපේක්ෂා කරයි.
වැව්, ගංගා, ඇළ, දොළ ආදී සියලු ජල මූලාශ්‍ර අදාළ ආයතන විසින් ප්‍රකාශයට පත් කර ඇති සංරක්ෂණ සීමා අනුව ආරක්ෂා කළ යුතුය. එවැනි සීමා නොමැති අවස්ථාවල නාගරික සංවර්ධන අධිකාරියේ ගොඩනැගිලි සීමා ක්‍රියාත්මක කරමින් ජල සම්පත් ආරක්ෂා කිරීමේ පියවර ගෙන ඇත. දැනට ක්‍රියාත්මක වන දේදුරුඔය ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පානීය ජල අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරයි.
ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය උසස් කිරීම සඳහා කර්මාන්ත සංවර්ධන කලාපයක් යෝජනා කර ඇත. කෘෂි නිෂ්පාදන අගය වැඩි කර නිමි භාණ්ඩ බවට පත් කිරීම මගින් රැකියා අවස්ථා වැඩි කිරීමට මෙය දායක වේ. එමගින් තාක්ෂණය මත පදනම් වූ සමාජයක් හා නවෝත්පාදන මධ්‍යස්ථානයක් බිහි කිරීමට හැකි වේ.
මෙම සංවර්ධන සැලැස්මට අනුබද්ධ පාරිසරික සැලසුම් ලෙස පහත කොටස් ඇතුළත් කර ඇත:
• තෙත්බිම් සැලැස්ම
• භූ දර්ශන කළමනාකරණ සැලැස්ම
• ආපදා අවම කිරීමේ සැලැස්ම
• පොදු විවෘත භූමි සැලැස්ම
මෙම සැලසුම් මගින් පවතින කුඹුරු භූමි සහ වනාන්තර ආරක්ෂා කරමින් තිරසාර පරිසර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.
ඵලදායී පුරවැසියෙකු සහ සතුටින් ජීවත්වන පවුලක් යන මූලධර්මය යටතේ ප්‍රඥාවන්ත පුරවැසියෙකු, දැනුමෙන් පිරිපුන් සමාජයක්, පාසල්, විශ්වවිද්‍යාල හා උසස් වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන අධ්‍යාපන ප්‍රතිපත්ති ද මෙම සංවර්ධන සැලැස්මට ඇතුළත් කර ඇත.