


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
ඉදිරියට සැලැස්ම යනු යම් ප්‍රදේශයක් තුළ පවතින භෞතික, ආර්ථික, සමාජීය හා පාරිසරික සාධක උපක්‍රමශීලී ලෙස, තිරසර සංවර්ධනයකට යොමු කරන ආකාරය දක්වන හා ඒ සඳහා ප්‍රදේශයේ පාර්ශ්වකරුවන්, විශේෂයෙන්ම එහි ජීවත් වන ජනතාව සංවර්ධන කටයුතු වලදී ක්‍රියා කළ යුතු ආකාරය දක්වන, නීතිමය පිළිගැනීමකට ලක්වූ ලිඛිත වාර්තාවකි.
ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 3(1) සහ 3(II) වගන්තියේ බලතල ප්‍රකාරව, අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලබන බල ප්‍රදේශයක් සඳහා සංවර්ධන සැලැස්මක් පිළියෙල කිරීමේ කාර්යභාරය 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරී (සංශෝධන) පනතේ 8(අ) වගන්තිය මගින් නාගරික සංවර්ධන අධිකාරියට බලය පැවරී ඇත.
1978 වර්ෂයේ සැප්තැම්බර් මස 30 වන දින අංක 941/9 දරණ ගැසට් නිවේදනය මගින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික ප්‍රදේශය නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, 1985 වර්ෂයේ පෙබරවාරි මස 06 වන දින අංක 335/5 දරණ ගැසට් නිවේදනය මගින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකාවේ අග නගරය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව 1982 වර්ෂයේදී පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ අග නගරය සඳහා වූ ශ්‍රී ජයවර්ධනපුර සංවර්ධන සැලැස්ම (සැලසුම්කරණ සැලැස්ම) කෝට්ටේ මහ නගර සභා ප්‍රදේශය, කඩුවෙල මහ නගර සභා ප්‍රදේශයෙන් කොටසක් හා මහරගම නගර සභා ප්‍රදේශයෙන් කොටසක් ආවරණය වන පරිදි පිළියෙල කර ඇත.
2008–2020 වසර සඳහා සකස් කරන ලද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සංවර්ධන සැලැස්මේ වලංගු කාලය අවසන් වී ඇති බැවින්, එම සංවර්ධන සැලැස්මට ප්රතිශෝධනයක් ලබා දෙමින්, ප්‍රදේශයේ ආර්ථික, සමාජීය, පාරිසරික හා භෞතික සංරචක තිරසර සංවර්ධනයකට යොමු කිරීම ප්රමුඛ කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පළාත් පාලන බල ප්‍රදේශය සඳහා 2022–2031 කාල සීමාව සඳහා මෙම සංවර්ධන සැලැස්ම සකස් කරනු ලැබේ.
මෙම සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් “උපායමාර්ගික සැලසුම්කරණ” ප්‍රවේශය යොදාගෙන ඇත. මෙම ප්‍රවේශය තුළ විභවතාවන් හා සම්පත් සාධනීය හා තිරසර ආකාරයෙන් එකට රැස්කර ගනිමින්, කලාපීය වශයෙන් පවතින ගැටළු සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් සියලු අංශ ආවරණය කරමින් සැලසුම් සකස් කර ඇත. උපායමාර්ගික සැලසුම් ප්‍රවේශය සාම්ප්‍රදායික සැලසුම්කරණයෙන් වෙනස් වූ විශේෂ ප්‍රවේශයක් වන අතර, එය සිදුවෙමින් පවතින අවකාශීය ගතිකතා සැලකිල්ලට ගනු ලබයි.
මෙම සැලැස්ම විශේෂයෙන් ඉඩම් සංවර්ධනයට නව දෘෂ්ටියක් දක්වන පුළුල් සංවර්ධන ගමන් පථයකින් යුක්ත වන අතර, එය ක්‍රියාත්මක කිරීමේ දර්ශනය වන්නේ සැලැස්මේ ඒකාබද්ධ සංරචක යෝජිත උපායමාර්ගික මැදිහත්වීම් මගින් ක්‍රියාත්මක කිරීමයි.