


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
සංවර්ධන සැලැස්ම යනු, සාමාන්‍යයෙන් යම් ප්‍රදේශයක පවතින භෞතික, ආර්ථික, සමාජීය හා පාරිසරික සාධක උපරිම වශයෙන් භාවිතා කරමින් තිරසාර සංවර්ධනයකට මග පෙන්වන ආකාරය දැක්වීම සහ ඒ සඳහා ප්‍රදේශයේ පාර්ශ්වකරුවන්, විශේෂයෙන් එහි වාසය කරන ජනතාව සංවර්ධන කටයුතු වලදී ක්‍රියා කළ යුතු ආකාරය පෙන්වන, නීතිමය පිළිගැනීමක් ඇති ලිඛිත වාර්තාවකි.
ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 8 “අ” වගන්තියට අනුව, අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන එම ප්‍රදේශය සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ වගකීම 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධන) පනතේ 8 “අ” වගන්තිය මගින් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇත.
ඒ අනුව හෝමාගම සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ පසුබිම සලකා බැලීමේදී, 1978 වර්ෂයේ සැප්තැම්බර් මස 30 වන දින අංක 4/1 ගැසට් පත්‍රය මගින් හෝමාගම නාගරික ප්‍රදේශය නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එම ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 7කින් සමන්විත වේ.
ඉන්පසුව 1979 වර්ෂයේ ඔක්තෝබර් මස 01 වන දින අංක 56/6 ගැසට් පත්‍රය මගින් අතුරුගිරිය ප්‍රදේශය ඇතුළත් කර ඇත. 1983 මාර්තු මස 01 වන දින අංක 234/7 ගැසට් පත්‍රය මගින් මත්තෙගොඩ ප්‍රදේශයද ඇතුළත් කර ඇත. තවද 1999 ජූනි මස 17 වන දින අංක 1084/20 ගැසට් පත්‍රය මගින් ඉතිරි ප්‍රදේශ ද ඇතුළත් කරමින් වර්තමාන හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම (වර්ග කිලෝමීටර් 138) නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව 1986 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් 1986–2001 කාලසීමාව සඳහා හෝමාගම නාගරික ප්‍රදේශය ආවරණය වන පරිදි සංවර්ධන සැලැස්මක් සකස් කරන ලදී. ඉන්පසුව 2008–2025 කාලසීමාව සඳහා ද සංවර්ධන සැලැස්මක් සකස් කර ගැසට් අංක 1627/28 (2009 නොවැම්බර් 13) මගින් ක්‍රියාත්මක කර ඇත.
වර්තමානයේ ක්‍රියාත්මක වන නව නගර සංවර්ධන ව්‍යාපෘති හා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් හේතුවෙන් ප්‍රදේශයේ නාගරීකරණය වේගවත් වී ඇත. ඒ අනුව, පවතින සංවර්ධන සැලැස්ම සංශෝධනය කරමින් 2022–2031 කාලසීමාව සඳහා නව සංවර්ධන සැලැස්මක් සකස් කර ඇත.